දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතක පැතිර යන වෛරස් උණ රෝගයට ප්‍රධාන හේතුව ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හෝ ආහාර මඟින් වෛරසය ශරීරගත වීම බව කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය. ඒ අනුව පාසල් දරුවන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමටත් උපදෙස් ලැබී ඇත. උණ රෝග ලක්ෂණ පවතින දරුවන් වහාම හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
පාසල් සහ පෙර පාසල් පරිශ්‍රයන්හි සනීපාරක්ෂාව ඉහළ නැංවීම සඳහා පන්ති කාමර, වැසිකිළි පද්ධති, ජල ටැංකි සහ ජල කරාම විධිමත් ලෙස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් මවුපියන්ගේ ද සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ දෛනික සනීපාරක්ෂක ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කළ යුතු බවට බලධාරීහු උපදෙස් ලබා දුන්හ.
සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව දරුවන් නිවෙස්වලින් උතුරවා නිවාගත් ජලය රැගෙන ඒම, නිතර අත් සෝදා ගැනීම සහ මුඛ ආවරණ භාවිතය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව පාසල් ආපණශාලාවල සනීපාරක්ෂාව දැඩිව පවත්වාගෙන යාමටත්, රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් හෝ පෙර පාසල් වෙත එවීමෙන් වැළකී සිටීමටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය ඇතිව මෙම පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.














