ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් නයියර් නසීර් (Nayyar Naseer) මහතා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (11) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම, හමුදා පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ කලාපීය ආරක්ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම දේශසීමා ඉක්මවා යන සමුද්‍රීය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නැගී එන තර්ජනවලට සාර්ථකව මුහුණ දීම සඳහා තාක්ෂණික සහයෝගීතාවයේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
එසේම වර්තමාන දේශගුණික විපර්යාස හමුවේ ආපදා කළමනාකරණය ජාතික ආරක්ෂාවේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව දෙපාර්ශ්වයම පිළිගත්හ. ඒ අනුව ආපදාවන් සඳහා තාක්ෂණය පදනම් කරගත්, මනා සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා වෙත සිය රාජ්‍යතාන්ත්‍රික සේවාව සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක් කළ අතර මෙම අවස්ථාවට පාකිස්තාන ආරක්ෂක උපදේශකවරයා ද එක්ව සිටියේය.
















