ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) මිසයිල ආරක්ෂණ ව්‍යාපෘතිය පිළිබඳව ස්වාධීන ඇමරිකානු කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) මගින් නිකුත් කළ වාර්තාවක් හේතුවෙන් ජාත්‍යන්තර ආරක්ෂක කරළියේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. ඊයේ (12) නිකුත් කළ එම විගණන වාර්තාවට අනුව ඉදිරි වසර 20 තුළ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක පිරිවැයක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එය ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළ මුදල මෙන් හත් ගුණයකටත් වඩා වැඩි අගයකි.
මෙම දැවැන්ත පිරිවැය නොතකා ව්‍යාපෘතිය නිම කළද, රුසියාව හෝ චීනය වැනි ප්‍රබල රටවල් එල්ල කරන නවීන හයිපර්සොනික් මිසයිල ප්‍රහාර වැළැක්වීමට මෙම පද්ධතියට නොහැකි බව අදාළ වාර්තාව පෙන්වා දෙයි. පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 7,800ක් සහ රේඩාර් මධ්‍යස්ථාන 35ක් පිහිටුවීමට සැලසුම් කර තිබුණද, ඇමරිකාව සතු “පේට්‍රියට්” මිසයිල තොග සීමා වීම හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම හෙළිදරව්වත් සමඟ ඇමරිකානු පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, මෙය ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමක් බවට විපක්ෂයේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් චෝදනා කරති.














