අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු විසින් දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට දුරකථන මගින් තර්ජනය කරමින් කප්පම් ඉල්ලා ඇති බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සිදු කළ විශේෂ වැටලීමකදී අදාළ සිරකුටිය තුළ ඉතා සූක්‍ෂ්ම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සොයා ගැනීමට සමත් වී ඇත.
අඟුණකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සහ බන්ධනාගාර පොලිසිය එක්ව මැයි 08 වැනිදා මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. බන්ධනාගාරය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ ජංගම දුරකථන භාවිතය පිළිබඳව එහිදී තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය අවට දුරකථන සංඥා අවහිර කිරීමට (Jamming) අධිසන්නිවේදන ජාල උපකරණ සවිකර තිබියදීත්, මෙම ජංගම දුරකථන බන්ධනාගාරය තුළට රැගෙන ආ ආකාරය සහ කිසිදු බාධාවකින් තොරව භාවිත කළ ආකාරය පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මේ වන විට දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම දුරකථන හරහා තවත් විවිධ තරාතිරම්වල පුද්ගලයන් බියගන්වා කප්පම් ඉල්ලා ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පැතුම් රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.














