පෝලන්තය හරහා යුක්රේන ජාතිකයන් පිටුවහල් කිරීම සඳහා ඇමරිකානු රජය ක්‍රියාත්මක කරන ගුවන් ගමන්වලට සහය දැක්වීම වහාම නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සහ හියුමන් රයිට්ස් ෆස්ට් (Human Rights First) යන මානව හිමිකම් සංවිධාන පෝලන්ත රජයෙන් ඉල්ලා සිටියි. මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් විය හැකි බව එම සංවිධාන අවධාරණය කරයි.
මානව හිමිකම් සංවිධාන පවසන පරිදි, ඇමරිකානු සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ඒකකය (ICE) විසින් 2025 නොවැම්බර් සහ 2026 මාර්තු මාසවලදී අවම වශයෙන් මෙවැනි මෙහෙයුම් දෙකක් පෝලන්තය හරහා සිදු කර ඇත. මෙහිදී යුක්රේන ජාතිකයන් 50කට වැඩි පිරිසක් නැවත යුක්රේනය වෙත පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
දරුණු යුධ ගැටුම් පවතින කලාපයකට මෙලෙස බලහත්කාරයෙන් පුද්ගලයන් පිටුවහල් කිරීම හෘද සාක්ෂියට එකඟ නොවන අතර එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව හියුමන් රයිට්ස් ෆස්ට් සංවිධානයේ සභාපති උස්රා සේයා (Uzra Zeya) ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් පරිපාලනය විසින් සිදු කරන මෙම බලහත්කාරී පිටුවහල් කිරීම් සඳහා පහසුකම් සැලසීම ප්‍රතික්ෂේප කරන ලෙස එම සංවිධානය පෝලන්තයෙන් ඉල්ලා සිටියි.
ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් නුවරින් පිටත්වන මෙම ගුවන් යානා පෝලන්තයේ ගිනිකොනදිග පිහිටි රෙසෝ-ජැසියොන්කා (Rzeszów-Jasionka) ගුවන් තොටුපළ වෙත පැමිණෙන බව අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් අප්‍රේල් 17 වන දින පෝලන්ත බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දුන්නද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මානව හිමිකම් සංවිධාන පවසයි. කෙසේ වෙතත්, පෝලන්තය ප්‍රකාශ කර ඇත්තේ මෙම පිටුවහල් කිරීම් ඇමරිකාව සහ යුක්රේනය අතර පවතින ‘අභ්‍යන්තර කරුණක්’ පමණක් බවයි.














