නීතියට උඩින් කිසිවෙකුත් නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම්, සැකකරුවන් දිවි නසාගන්නා තත්ත්වයට පත් කරමින් බොරු සාක්ෂි ගොඩනැගීමට උත්සාහ කරන පුද්ගලයන්ගෙන් ද ප්‍රශ්න කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (12) කැස්බෑවේ පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනවල නිලධාරීන්, විශේෂයෙන් පොලිසිය බිය කරමින් බොරු සාක්ෂි නිර්මාණය කරන බවත්, එම පීඩනය දරාගත නොහැකිව පුද්ගලයන් තිදෙනෙකු මේ වන විටත් දිවි නසාගෙන ඇති බවත් ය.
ජනාධිපතිවරයා පවසන පරිදි නීතිය සැමට සමාන විය යුතු නම්, බාල ගල්අඟුරු ගෙන්වූවන්, මුදල් අමාත්‍යාංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට බැර කළ පුද්ගලයන් මෙන්ම ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගත් අයගෙන් ද වහාම ප්‍රශ්න කළ යුතු බව ඔහු අවධාරණය කළේය. මීට අමතරව පාර්ලිමේන්තුවට ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කළ අය, ද්විත්ව පුරවැසිභාවය සඟවා පාර්ලිමේන්තු ආ අයට සහ බැංකුවලින් බිලියන ගණනින් මුදල් අවභාවිත කළ අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩුව බලයට පත්වූයේ අසීමිත බොරු කීමෙන් බවත්, වර්තමානයේ ආණ්ඩුවේ දූෂණ හා වංචා හේතුවෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට ජනතාව මත අසීමිත බදු බරක් පටවා ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය. විදුලි බිල ඉහළ යාම ලෝක යුද්ධය නිසා සිදුවන්නක් බව පවසන ආණ්ඩුව, බාල ගල්අඟුරු ගෙන්වීම ද ලෝක යුද්ධය නිසා සිදු වූවක් දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් තරුණයන් උපයන ආදායමට පවා බදු ගැසීම අසාධාරණ බවත්, මෙම බදු හේතුවෙන් ජීවන වියදම ඉහළ ගොස් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම ඇමතිවරයා පොහොර නැතැයි පවසන ගොවියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැවසීම සහ පක්ෂ ලේකම්වරයෙකු වෙනත් පක්ෂයකට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව පැවසීම මගින් ආණ්ඩුව 88-89 යුගයේ මෙන් මර්දනයක් කරා යමින් සිටින බව ඔහු පැවසීය. එහෙත් අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නවීකරණය වී ඇති බවත්, වෛරය හා පළිගැනීම වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් තුළින් රට නව මාවතකට ගෙන යාමට තම පක්ෂය සූදානම් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.













