කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන “ඉසුරු ගෙනෙන යලක්” නව කෘෂිකාර්මික ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (14) පස්වරු 2.00 ට හම්බන්තොට හාතාගලදී පැවැත්වේ. අභියෝග හමුවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ජය ගනිමින් ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය කෘෂි ආර්ථිකය සවිබල ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රවින් තුෂාර වික්‍රමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ව්‍යාප්ති හා පුහුණු අධ්‍යක්ෂ සිසිර කුමාර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මේ වසරේ යල කන්නය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වේ. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන, පොහොර සහ අනෙකුත් කෘෂි යෙදවුම්වල මිල ඉහළ යෑමට සාර්ථකව මුහුණ දීම සඳහා ගොවීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇත.
පස් පරීක්ෂා කර පොහොර යෙදීම, රසායනික පොහොර භාවිතය අවම කිරීම සහ අඩු පොහොර ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාදෙන වී ප්‍රභේද හඳුන්වා දීම මෙම වැඩසටහනේ විශේෂ අංගයන් වේ. මීට අමතරව මුං, කව්පි, මිරිස් සහ ලූනු වැනි අඩු වියදමකින් වගා කළ හැකි අතිරේක ආහාර බෝග ප්‍රචලිත කිරීම මඟින් ආනයන වියදම් අවම කිරීම ද රජයේ තවත් එක් අරමුණකි.














