ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ ප්‍රේමා පින්නවල මහතා වයස අවුරුදු 88ක්ව සිටියදී ඉකුත් 12 වනදා අභාවප්‍රාප්ත විය. 1950 දශකයේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා 1963දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස සිය පරිපාලන ගමන ආරම්භ කළේය. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයා ලෙස වසර 15ක් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහලේකම්වරයා ලෙස වසර 25ක පමණ අසමසම සේවාවක් ඉටුකළ ඔහු 2023 වසරේදී ඉන් විශ්‍රාම ගත්තේය.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ද මහත් ගෞරවයට පාත්‍ර වූ පින්නවල මහතා දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ ආසියානු මලල ක්‍රීඩා සංගමයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. මලල ක්‍රීඩාව වෙනුවෙන් ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් 2025 වසරේදී ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ඔහුට ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගෞරව සම්මානය පිරිනමන ලදී. ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස ද ඔහු දීර්ඝ කාලයක් සේවය කර ඇත.
හිටපු අතිරේක ලේකම්වරියක වූ ජයනි පින්නවල මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ පින්නවල මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) පස්වරු 1.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.














