දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වීමේදී උපරිම අවදියෙන් පසුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන්ම මුහුදු යන සියලුම ධීවරයන් ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැලඳීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. පුත්තලම සහ හලාවත සිට ගාල්ල, මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල රළු ස්වභාවයක් බලාපොරොත්තු විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
ධීවර සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මඟින් වරින් වර නිකුත් කරන නිල කාලගුණ වාර්තා කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත්, තමාගේ මෙන්ම දේපළවල ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කරන ලෙසත් සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.














