නීතියට උඩින් කිසිවෙකුත් නැති බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශ සැබෑවක් නම්, වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන දූෂණ සහ වංචා පිළිබඳවද වහාම පරීක්ෂණ පවත්වන ලෙස මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අභියෝග කරයි. ආණ්ඩුව බලයට පත්වූයේ අසීමිත බොරු පවසමින් බවත්, අද වන විට පොරොන්දු ඉටු කරනවා වෙනුවට ජනතාව මත අධික බදු බර පටවමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
බාල ගල් අඟුරු මෙරටට ගෙන්වූ පුද්ගලයන්, මුදල් අමාත්‍යාංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට බැර කළ පිරිස් සහ ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගත් අයගෙන් ප්‍රශ්න කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව මහ බැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් අතුරුදන් වූ බව කියන විශාල මුදල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නොවන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ සියදිවි හානිකර ගැනීම් තුනක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය. පොලිසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන සැකකරුවන්ට බොරු සාක්ෂි දීමට බලපෑම් කරමින් ඔවුන් වධකාගාර මට්ටමේ මානසික පීඩනයකට ලක් කිරීම මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.
විදුලි බිල සහ ජල බිල ඉහළ දැමීම හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අන්ත අසරණ වී ඇති බවත්, ආණ්ඩුවේ වංචාවන් වසා ගැනීමට ජනතාව මත මේ පීඩනය පටවන බවත් ඔහු සඳහන් කළේය. තාක්ෂණික අංශයේ ස්වයං රැකියාවල නිරත තරුණයන්ට පවා අසාධාරණ බදු පැනවීම හරහා ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
පොහොර නැති බව පවසන ගොවියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට කෘෂිකර්ම ඇමතිවරයා කරන ප්‍රකාශ හාස්‍යජනක බවත්, අසූ අට – අසූ නව යුගයේ මෙන් මර්දනයෙන් රට පාලනය කිරීමට ජනතාව ඉඩ නොදෙන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














