ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟාසිටුවීම සඳහා වූ නව ජාතික උපායමාර්ගික සැලැස්ම 2026 මැයි මස 14 වැනිදා (හෙට) ජනගත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. තමන් අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ මුල් සතියේ සිය නිල කාමරයේ සැලසුම් ඇඳීමට “වයිට් බෝඩ්” (White Board) එකක් පවා නොතිබූ බවත්, තමා පෞද්ගලිකව නිවසේ සිට රැගෙන ආ බෝඩ් එකක් මත මෙම නව සැලැස්මේ මූලික ආකෘතිය සකස් කළ බවත් ඔහු අනාවරණය කළේය.
ව්‍යවසායකත්වයට සහාය දීම සඳහා මෙරට විවිධ ආයතන සහ වැඩසටහන් හුදකලාව ක්‍රියාත්මක වන බවත්, එම සියලු වැඩසටහන් සහ ආයතන එකම ජාතික සංවිධානාත්මක වැඩපිළිවෙළක් යටතට ගැනීම මෙම නව උපායමාර්ගයේ මූලික අරමුණ බවත් ඔහු සඳහන් කරයි.
පසුගිය මාස 16ක කාලය පුරා අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම සිහිනය සැබෑ කරගැනීම සඳහා උපායමාර්ගිකව වෙහෙස මහන්සි වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය එක්ව වැඩ කරන නව සංස්කෘතියක් ඇති කිරීමට පදනම වැටී ඇති බවත් අබේසිංහ මහතා වැඩිදුරටත් පවසයි.
මෙම සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමඟ ලංකාවට ආවේණික ජාත්‍යන්තර සන්නාමයන් බිහිවීමේ “අහඹු ක්‍රියාවලිය” වෙනුවට විධිමත් සහ සංවිධානාත්මක ක්‍රියාවලියක් ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 මැයි 13 වන දින මෙම දැවැන්ත ජාතික වැඩපිළිවෙළේ ආරම්භක දිනය ලෙස සටහන් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහන මඟින් සිහිපත් කර තිබේ.














