වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදුසු පිරිසක් නොමැති වීම හේතුවෙන් විවිධ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් තමන් ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා ලැබෙමින් පවතින බව එම පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර නොගෙන ඔවුන් සමඟ එක්ව වැඩ කරන ලෙසට විවිධ ව්‍යාපාරිකයන් තමන්ගෙන් ඉල්ලා සිටින බවත්, ආණ්ඩුවට වැඩ කිරීමට මිනිසුන් නොමැති බව ඔවුන් පවසන බවත් ඔහු සඳහන් කළේය. ජාතික ලැයිස්තුවෙන් පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හේතුවෙන් ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු උත්සන්න වී තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කිහිප වතාවක් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නද, සමගි ජන බලවේගයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පිරිස් ලබාගෙන ආණ්ඩුව ස්ථාවර කරන බවට ජනාධිපතිවරයා ඔහුට පොරොන්දු වී ඇති බව ද හෙතෙම පැවසීය.
ආර්ථික තත්ත්වය පිළිබඳව විවේචනය කරමින් ඔහු කියා සිටියේ වැට් බද්ද තවත් සියයට 2.5කින් වැඩි කර ඇති බවත්, විදුලිය, ඉන්ධන සහ ගෑස් මිල ඉහළ දැමීම නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බවත්ය. උද්ධමනය සියයට 5කට වඩා වැඩි වී ඇති බව පෙන්වා දුන් අබේසිංහ මහතා, ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකතු කරගෙන ‘ජාතික ආණ්ඩුවක්’ කරා යාමට බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.














