ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩා වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. එම නිවසේ කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද එහි දත්ත ගබඩාවීමක් සිදු නොවන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එබැවින් එම නිවසට අදාළ දර්ශන හමුනොවූ නමුත් ආසන්න නිවාස දෙකක CCTV දර්ශන විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
අවසන් වරට කපිල චන්ද්‍රසේන මහතා දුටු ආකාරය පිළිබඳ සාක්ෂි
මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් නීතිඥ ප්‍රියන්ත අමරසිංහ මහතා සඳහන් කළේ මැයි 08 වැනිදා උදෑසන තමන් අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට ගිය බවයි. එහිදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳ සතු වූ ප්‍රධාන යතුරකින් (Master Key) කාමරයේ දොර විවෘත කළ බවත් එවිට කපිල චන්ද්‍රසේන මහතා පුටුවක් මත වැටී සිටිනු දුටු බවත් ඔහු පැවසීය. දොරේ ඉහළ කොටසේ ටයි පටියක් වැනි යමක් එල්ලා තිබූ අතර එහි කොටසක් මරණකරුගේ බෙල්ලේ තිබෙනු නිරීක්ෂණය වූ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වෛද්‍ය පරීක්ෂණ සහ මරණය සිදුවූ වේලාව
දේහය මුලින්ම පරීක්ෂා කළ පෞද්ගලික රෝහලක වෛද්‍ය යශෝදා ලක්ෂානි ලියනගේ මෙනවිය සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් උදෑසන 7.50ට පමණ එම ස්ථානයට යන විටත් පුද්ගලයා මියගොස් සිටි බවයි. ඇය පරීක්ෂා කරන අවස්ථාව වන විට මරණය සිදුවී පැයක් හෝ දෙකක් පමණ ගතවී තිබෙන්නට ඇති බව ඇයගේ මතය විය.
නිවසේ සේවිකාවගේ සාක්ෂිය සහ අතුරුදහන් වූ ‘බෙල්ට්’ පටිය
මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සේවිකාව සාක්ෂි දෙමින් සඳහන් කළේ මැයි 07 වැනිදා රාත්‍රියේ චන්ද්‍රසේන මහතා තමන්ට ඇමතුමක් ලබාදී ඇඳුම් කිහිපයක් සහ ව්‍යායාම සඳහා භාවිත කරන නිල් පාට ‘බෙල්ට්’ පටියක් ඉල්ලා සිටි බවයි. එම භාණ්ඩ රැගෙන යාමට අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරන් දෙදෙනෙකු පැමිණි බව ද ඇය සඳහන් කළාය. එසේම මැයි 08 වැනිදා උදෑසන 7.25ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් යැයි පවසාගත් පිරිසක් පැමිණ තම නිවස ද පරීක්ෂා කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම මැයි මස 19 වැනිදා දක්වා කල් තබා තිබේ.














