අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
මෙම අවදානම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශයි. අදාළ පහත්බිම් ප්‍රදේශ හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් සහ වාහන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු අතර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී ඇත.














