දේශීය ව්‍යවසායකයා නගාසිටුවීම යනු හුදෙක් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම පමණක් නොව, ඔවුන් විධිමත් නිෂ්පාදන දාමයක කොටස්කරුවන් බවට පත් කිරීම බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි. උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර අයිනේ එළවළු සහ පළතුරු විකුණන පවුල්වල දුප්පත්කම තුරන් කිරීමට නම් ඔවුන් සංවිධානාත්මක ව්‍යවසායකත්ව ක්‍රියාවලියකට ඇතුළත් කරගත යුතු බවයි.
පාර අයිනේ සිටින වෙළෙන්දෙකු සතු සියලු නිෂ්පාදන එක්වර මිලදී ගැනීමෙන් පමණක් එම පවුල දියුණු කළ නොහැකි බවත්, තමාද එලෙස සිතූ අවස්ථා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය සහ ඉඩම් පහසුකම් ලබා දෙමින් ඔවුන්ව රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉඩම් ගැටලුවට විසඳුම් ලෙස ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් “ඉඩම් බැංකුවක්” නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මහවැලි අධිකාරිය, ජනවසම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා වෙන් කරවා ගැනීමට දැනටමත් ඉල්ලීම් කර ඇති බව ඔහු පැවසීය. එමෙන්ම ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය අර්බුද විසඳීමට මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරන බවත්, ආනයන හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට එල්ල වන තර්ජන හඳුනාගෙන දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














