බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන, දැනට අධිකරණය මගින් රජයට පවරාගෙන ඇති මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහ දේපළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) විසින් සිය භාරයට ගෙන තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නේවාසිකාගාර සහ ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම දේපළ වහාම ශිෂ්‍ය අයිතියට පැවරිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
විශ්වවිද්‍යාල සිසුන්ට නේවාසිකාගාර නොමැතිව බෝඩිං කාමරවල බිම නිදාගන්නා තත්ත්වයක් තුළ, මෙවැනි මාලිගා වැනි දේපළ රජය සන්තකයේ පමණක් තිබීමෙන් ඵලක් නොමැති බව අන්තරේ කැඳවුම්කරු සසිදු පෙරේරා මහතා පවසයි. “හොරාගත් දේපළ නැවත ජනතාවට පවරා දීම” යන සටන් පාඨය යටතේ, රජය මෙම දේපළ පවරා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එහි භුක්තිය සෘජුවම අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට ලබා දිය යුතු බව සිසුන් පෙන්වා දෙයි.
මල්වාන දේපළ අත්පත් කරගැනීම සංකේතාත්මක සටනක් පමණක් බවත්, ඉදිරියේදී රට පුරා පිහිටි මෙවැනි දේපළ අත්පත් කරගැනීමට සූදානම් බවත් ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු අඟවයි. මෙම දේපළ අධ්‍යාපන ක්ෂේත්‍රයට පවරා දෙන තෙක් තමන් එම භූමියෙන් ඉවත් නොවන බවත්, අත්පත් කරගත් දේපළ තුළ රැඳී සිටිමින් සටන ජයග්‍රහණය කරන බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














