පශ්චාත් යුධ යුරෝපයේ ස්ත්‍රීවාදී කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම චරිතයක් වූ ඔස්ට්‍රියානු ජාතික වැලී එක්ස්පෝර්ට් (Valie Export) වයස අවුරුදු 85ක්ව සිටියදී වියනා නුවරදී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පදනම ඊයේ (බ්‍රහස්පතින්දා) නිවේදනය කළේය.
1940 වසරේ ලින්ස් (Linz) හි වෝල්ට්‍රවුඩ් ලෙහ්නර් (Waltraud Lehner) නමින් උපත ලැබූ ඇය, කුඩා කලදීම විවාහ වී දරුවෙකු ලැබුවද, සාම්ප්‍රදායික ගෘහණියකගේ භූමිකාව තමන්ට නොගැලපෙන බව පවසමින් පසුව වියනා නුවර වෙත සංක්‍රමණය විය. 1960 දශකයේදී ඇය සිය නම “VALIE EXPORT” ලෙස වෙනස් කරගත් අතර, එය ඇයගේ අන්වර්ථ නාමයක් සහ එවකට ජනප්‍රියව පැවති සිගරට් සන්නාමයක් පාදක කරගනිමින් නිර්මාණය වූවකි. ඇය සිය නම ඉංග්‍රීසි කැපිටල් අකුරින් භාවිතා කිරීම පවා කාන්තාව සවිබල ගැන්වීමේ සංකේතයක් ලෙස සැලකේ.
වැලී එක්ස්පෝර්ට් සිය වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී කාන්තා ශරීරය සහ සමාජය තුළ කාන්තාවට හිමි ස්ථානය පිළිබඳව පැවති මතවාදයන්ට අභියෝග කිරීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල විවිධ නිර්භීත ඉදිරිපත් කිරීම් (Performance art) සිදු කළාය. පසුව ඇය වීඩියෝ නිර්මාණ සහ සිනමාව ඔස්සේද සිය කලා කටයුතු පුළුල් කළාය. ඇයගේ “Tapp- und Tastkino” සහ “Aktionshose: Genitalpanik” වැනි නිර්මාණ මෙන්ම “Unsichtbare Gegner” සහ “Syntagma” වැනි පර්යේෂණාත්මක චිත්‍රපට ලොව පුරා ඉහළ ඇගයීමකට ලක් විය.















