අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන දෙදින නිල සංචාරයේ අවසන් දින සාකච්ඡා අද (සිකුරාදා) බීජිං නුවරදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර වෙළඳ ගිවිසුම් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වුවද, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා විසින් මෙහිදී දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් වැරදි ලෙස කටයුතු කිරීම අමෙරිකා – චීන සබඳතා “ඉතා භයානක තත්ත්වයකට” (a very dangerous place) ඇද දැමීමට හේතු විය හැකි බව ෂී ජින්පින් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දෙරට අතර ඇති කරගත් තාවකාලික වෙළඳ එකඟතාවය පවත්වා ගැනීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණකි. එම එකඟතාවය යටතේ ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ මත පනවා තිබූ ඉහළ බදු අත්හිටුවීමටත්, ෂී ජින්පින් විසින් ලෝක වෙළඳපොළට අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare earths) සැපයීම සීමා නොකිරීමටත් පියවර ගෙන තිබුණි.ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට ඉරානය පෙළඹවීමට මැදිහත් වන ලෙස ට්‍රම්ප් මෙහිදී චීනයෙන් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපති ට්‍රම්ප් සිය සංචාරය නිම කර අද දිනයේ අමෙරිකාව බලා පිටත්ව යාමට පෙර නායකයන් දෙපළ තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයකට එක්වීමට නියමිතව ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණය හමුවේ මෙම සාකච්ඡා ජනාධිපති ට්‍රම්ප්ට දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වේ.














