අනාගත ලෝකයට ගැළපෙන ‘සුහුරු පුරවැසියන්’ සහ වෘත්තීය නිපුණතාවෙන් පිරිපුන් ශිල්පීන් සමාජගත කිරීම සඳහා රට පුරා අලුතින් තාක්ෂණික විද්‍යාල 50ක් ඇති කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. වාලහේන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
නව රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 9 වසර අවසානයේදී පවත්වන ජාතික විභාගයෙන් පසුව සිසුන්ට ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. හුදෙක් උපාධිධාරීන් පමණක් නොව, දක්ෂ වෘත්තීය ශිල්පීන් බිහි කිරීම සඳහා පවතින තාක්ෂණික විද්‍යාල වැඩිදියුණු කිරීමට හෝ අලුතින් ඇති කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඔහු පැවසීය.
සමාජයේ කතාබහට ලක්වන ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් ක්‍රමවේදයේ වෙනස ආරම්භ විය යුත්තේ පුරවැසියාගේ මනසින් සහ භාවිතයෙන් බව ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. පුද්ගලයන් බේරේ වැවට වැටුණු පමණින් ක්‍රමය වෙනස් නොවන බවත්, පුරවැසියා අභ්‍යන්තරයෙන් ශක්තිමත් වී වගකීම්සහගතව මැදිහත් වන්නේ නම් ඕනෑම පාලනයක් යටතේ රට යහපත් මාවතකට ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පාසල් දරුවන් අතර ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජය සියයට 90ක් පමණ සාර්ථක වී ඇති බව පැවසූ ඇමැතිවරයා, එය මුලිනුපුටා දැමීමට නම් තරුණ පරපුර ස්ථාවරව ‘නැත’ (No) යන ස්ථාවරයේ සිටිය යුතු බව ද අවධාරණය කළේය. වෘත්තීය දක්ෂතාවලට අමතරව සාහිත්‍යය, කලාව සහ ක්‍රීඩාවන්හි නිරත වෙමින් නීරෝගි දිවියක් ගත කිරීමට උත්සාහ කරන ලෙස ද ඔහු තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
















