රජය සතු ව්‍යාපාරවල යහපැවැත්ම සහ මූල්‍ය විනය තහවුරු කිරීම සඳහා ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කරයි. අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් වෙනුවෙන් සංවිධාන කර තිබූ විශේෂ වැඩමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ, රාජ්‍ය ආයතන 457ක් පවතින බැවින් එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගික නොවන නිසා ඒවායේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමට ඉදිරියේදී ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.
මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය පෙන්වා දුන්නේ රාජ්‍ය අරමුදල්වල සැබෑ හිමිකරුවන් මහජනතාව බැවින් එම අරමුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමට අභ්‍යන්තර විගණනය මගින් රාජ්‍ය විගණනයට සහය දිය යුතු බවයි. අභ්‍යන්තර විගණක තනතුර අදාළ ආයතන ප්‍රධානියාගෙන් ස්වාධීන කර අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය ආයතන 300කට ආසන්න ප්‍රමාණයක ප්‍රධානීන් සහභාගී වී සිටියහ.














