බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අද (15) නියෝග කෙරිණි. ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් මෙම නියෝගය කොළඹ රක්ෂිත බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලදී.
සැකකාර හිමියන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත්, අදාළ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර නිලධාරීහු මෙහිදී දැනුම් දුන්හ. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා අද දින ඇප ඉල්ලීමක් සිදු නොකළ අතර විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, තම බාලවයස්කාර දියණිය මුදලට ලිංගික අපයෝජනය සඳහා ලබා දුන් බවට චෝදනා ලැබ සිටින වින්දිත දැරියගේ මව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඇය ද ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. නිට්ටඹුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර එහි උදෘත නීතීපති උපදෙස් සඳහා යොමු කර ඇති බවයි.














