අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේදී සිදුවූ දුම්රිය පීලි පැනීමේ අනතුරෙන් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, පීලි පැනීමත් සමඟ එක් දුම්රිය මැදිරියක් මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ මගීන් වහාම රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් සහ දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව මූලික වාර්තා සඳහන් කරයි. මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ බලා ධාවනය වන දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, දුම්රිය පීලිගත කිරීමේ සහ පෙරළී ගිය මැදිරිය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. කාර්යාල දුම්රිය රැසක් අවලංගු වීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර හැකි තාක් විකල්ප ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.














