ලෝකයේ උදාරතම ජයග්‍රහණ අත්කර ගත හැක්කේ සංවර්ධනය සහ ශිෂ්ටාචාරය අතර මනා සමබරතාවයක් පවතින විට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (15) හොංකොංහිදී පැවති ‘2026 ආසියානු සංස්කෘතික පොදු සුභසාධන සංසදය’ (Asian Cultural Public Welfare Forum) ඇමතීමට එක්වෙමිනි. ආසියානු කලාපයේ සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් නවීන තාක්ෂණය කරා යන ගමන පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා පෞරාණික සමබරතාව සහ නූතන ප්‍රතිපත්ති මනාව එක්තැන් කළ නායකයෙකු බවයි. අහස සිඹින ගොඩනැගිලි හා නවීන වරායන් ඉදි කරන අතරතුරම, ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම සහ සංස්කෘතික වටිනාකම් සුරැකීම කෙරෙහි එතුමා නිරන්තර අවධානය යොමු කළ බව ඔහු සිහිපත් කළේය. තාක්ෂණය මනුෂ්‍යත්වයට සේවය කළ යුතු මිස මනුෂ්‍යත්වය අභිභවා නොයා යුතු බවත්, කෘතිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් මානුෂීය සුභසාධනය සඳහාම යොදාගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තරුණ නායකයින්ගේ වගකීම මැතිවරණ ජයග්‍රහණ ගැන සිතීම පමණක් නොව, ඉදිරි පරම්පරා වෙනුවෙන් තිරසාර ලෝකයක් ඉතිරි කිරීම බව පවසමින් ඔහු සිය කතාව අවසන් කළේය.














