දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්නුම් කිරීමත් සමඟ, පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් කෙමෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, වැසි තත්ත්වය සමනය වීමත් සමඟ මෙම තත්ත්වය දක්නට ලැබෙන නමුත් කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වන බවයි.
එමෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ද ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, එහි පහළ නිම්න ප්‍රදේශ වන ගම්පහ, කටාන සහ වත්තල යන ප්‍රදේශවල ජනතාව තවදුරටත් සුපරීක්ෂාකාරීව සිටීම වැදගත් වේ. කැලණි ගඟේ හංවැල්ල ආශ්‍රිත ප්‍රදේශවලට තවමත් වැසි පතිත වෙමින් පවතින බැවින් ජල මට්ටම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ඊයේ සවස වන විට ප්‍රධාන ජලාශ 22ක් සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 19ක් වාන් දමමින් පැවති අතර, ඉදිරි වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.














