ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ (Commonwealth Chess Championship) සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති අරක්කඩි ඩුකෝවිච් (Arkady Dvorkovich) මහතා අද (16) උදෑසන දිවයිනට පැමිණියේය. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඒ මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 550කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත තරගාවලිය අද (16) සිට මැයි 26 දක්වා කළුතර, වස්කඩුව පැඟිරිහේන (Citrus Waskaduwa) හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර මට්ටමේ චෙස් ක්‍රීඩකයින් රැසක් එක්වන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාවේ දියුණුවට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














