චීනයෙන් ස්වාධීන වීම ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින්ග් සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර බීජිං නුවරදී පැවති දෙදින සමුළුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ, තායිවානය නිල වශයෙන් ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි.
තායිවාන ජනාධිපති ලායි චින් ටේ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තායිවානය දැනටමත් ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කරන බැවින් අමුතුවෙන් ස්වාධීනත්වයක් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, චීනය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ස්ථාවරත්වය වෙනුවෙන් දෙරට අතර සමබරතාවයක් පවත්වා ගැනීමට ට්‍රම්ප් පාලනය අපේක්ෂා කරයි. ඇමෙරිකාව නීත්‍යානුකූලව තායිවානයට ආරක්ෂක මෙවලම් සැපයීමට බැඳී සිටියද, වත්මන් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය දේශපාලනයේ නව හැරවුමක් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














