අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ බව කියන අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි තමන් දැඩි අවධානයෙන් පසුවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කරයි. එම අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය සඳහන් කරන්නේ, සිද්ධිය වාර්තා වූ දින සිටම වින්දිත දැරියගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් තම ආයතනය මැදිහත් වී ඇති බවයි.
අදාළ විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන්නේ දැයි නිරන්තරයෙන් නියාමනය කරන බවත්, ළමයාගේ උපරිම යහපත උදෙසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සුදුසු පියවර ගැනීමට සූදානම් බවත් එම නිවේදනයේ දැක්වේ. එසේම, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්‍රියාදාමයට කිසිදු බාහිර බලපෑමක් එල්ල වී නොමැති බවත්, අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීමට කැපවන බවත් අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














