වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරදී අද අලුයම සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පීලි මාරු කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් මෙම අනතුරට සෘජු හේතුව වී ඇති බවට සැක පළ කෙරේ. පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මෙම දුම්රියේ එන්ජිම ප්‍රධාන මාර්ගයේ රැඳී තිබියදී පීලි මාරු වන ස්ථානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් පසුපස මැදිරි වෙනත් මාර්ගයකට ඇදී ගොස් තිබේ. මෙහිදී එක් මැදිරියක් පෙරළී යාමෙන් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. පීලි මාරු කරන පද්ධතියේ කොටසක් ගැලවී තිබීම මෙම අනතුරට හේතු වී ඇති බව මූලිකව නිරීක්ෂණය වී ඇති අතර එය කාර්මික දෝෂයක් ද නැතිනම් කිසිවෙකු විසින් සිදුකළ සිතාමතා කළ විනාශකාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානය යොමු කර ඇත. දුම්රිය මගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සහ පොලිසිය එක්ව පුළුල් තාක්ෂණික පරීක්ෂණයක් පවත්වන අතර දැනට පීලි පැනීමට ලක්වූ මැදිරි ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද වේගවත් කර තිබේ.
















