ඩීසල් බවුසරයකට භූමිතෙල් කලවම් කරමින් සිටි මහා පරිමාණ ඉන්ධන ජාවාරමක් වැටලීමට හංවැල්ල පොලිසිය අද (16) සමත් විය. හංවැල්ල, ජයවීරගොඩ ප්‍රදේශයේ වැලි ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයකදී මෙම ජාවාරම සිදුවෙමින් පවතින බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී සිපෙට්කෝ ආයතනයට අයත් බවුසර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එක් බවුසරයක තිබූ ඩීසල් ලීටර් 1500ක් ඉවත් කර ඒ වෙනුවට අනෙක් බවුසරයේ තිබූ භූමිතෙල් ලීටර් 1500ක් ඩීසල් බවුසරයට එක් කරමින් තිබී ඇත. ඉන් අනතුරුව රසායනික ද්‍රව්‍යයක් යොදා වර්ණය වෙනස් කර අදාළ ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමේ සූදානමක් පැවති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වැටලීම අවස්ථාවේදී එක් බවුසර් රථයක රියදුරෙකු පලා ගොස් ඇති අතර, අනෙක් රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. හංවැල්ල පොලිස් ස්ථානාධිපති සනත් රාජසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ මෙම මෙහෙයුම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන අංශයේ සහාය ද හිමිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ බවුසර් රථ දෙක අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














