මැතිවරණ සමයේ ලක්ෂ 12කට විට්ස් (Vitz) වර්ගයේ මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වූ වත්මන් රජය, අද වන විට වාහන මත 50%ක අමතර බද්දක් පැනවීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක නායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, බදු පැනවීම් හමුවේ වාහන මිල ඉහළ නොයන බවට රජය පවසන කතා විහිළු සහගත බවත්, රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය භාරගත යුතු බවත්ය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් බඩු මිල හා පිරිවැය වැඩි වීම නිසා සමස්ත ජන ජීවිතයම කඩා වැටෙමින් පවතින බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රුපියල ශක්තිමත් කිරීමට නම් අපනයන ආදායම, සංචාරක කර්මාන්තය සහ සෘජු විදේශ ආයෝජන වර්ධනය කරගත යුතු වුවත්, වත්මන් රජයට ඒ පිළිබඳ මූලික අවබෝධයක් නොමැති බව ඔහු චෝදනා කළේය. ජනතාවට සහන ලබාදීම කප්පාදු නොකර, පවතින උග්‍ර බඩු මිල ඉහළ යාම හමුවේ සහනාධාර තවදුරටත් වැඩි කළ යුතු බවත්, විදේශ සංචිත ශක්තිමත් කරමින් ණය ගෙවීමේ ක්‍රමවේදය නිසි ලෙස කළමනාකරණය කිරීමට රජය වහා මැදිහත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














