වත්මන් රජයට ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින ගන්නා වැරදි තීරණ නිසා රටේ පොදු ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරය ඇතුළු විහාරත්‍රයක විහාරාධිපති, පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
පසුගිය මැතිවරණ සමයේ රජයේ මැති ඇමතිවරුන් විසින් රුපියල් ලක්ෂ 12කට Vitz වර්ගයේ මෝටර් රථ ලබා දෙන බවට පොරොන්දු වුවද, අද වන විට වාහන මත සියයට 50ක අතිරේක බද්දක් පැනවීමට කටයුතු කර ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. මෙම බදු පැනවීම නිසා වාහන මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා සිදු කරන ප්‍රකාශ විහිළු සහගත වන අතර, මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා සතු විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය වාර්තාගත ලෙස ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත්, රුපියල බිඳවැටීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් බඩු මිල සහ නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා සමස්ත ජන ජීවිතයම මුළුමනින්ම අඩාල වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය. රජය වහාම මැදිහත් වී රුපියල අවප්‍රමාණය වීම පාලනය කරමින්, පවතින දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය උපරිම සහන සැලසීමට පියවර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















