බගවන්තලාව සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසයි. අද (16) දින පස්වරු 4:00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ්, නිව්වැලිගම ප්‍රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් මාර්ගය අසල තිබූ දුරකථන රැහැන් සහිත කණුවක ගැටී නතර වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය තුළ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර තිබුණ ද, වාසනාවකට මෙන් ඔවුන් දෙදෙනාටම කිසිදු අනතුරක් සිදු වී නොමැත. කෙසේ වෙතත්, අනතුරේ දරුණුකම හේතුවෙන් කැබ් රථයේ පසුපස රෝදයක් පවා ගැලවී ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය සඳහන් කළේය.
අනතුරට ප්‍රධානතම හේතුව කැබ් රථයේ අධික වේගය සහ මාර්ගය ලිස්සා යාම බවට සැක කෙරේ. දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් සහ ආරක්ෂිතව රිය ධාවනය කරන ලෙස නෝර්වුඩ් පොලිසිය සියලුම රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














