නේපාලයේ සුප්‍රසිද්ධ කඳු නැගීමේ මඟපෙන්වන්නෙකු වන කාමි රීටා ෂර්පා (Kami Rita Sherpa) අද (මැයි 17) පෙරවරුවේ 32 වැනි වරටත් ලොව උසම කන්ද වන එවරස්ට් මුදුනට පිවිසෙමින් තමන් විසින්ම පිහිටුවා තිබූ ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කර තිබේ. 56 හැවිරිදි වියේ පසුවන ඔහු, ’14 Peaks Expedition’ ආයතනය යටතේ විදේශීය කඳු නගින්නන් පිරිසකට මඟපෙන්වමින් සිටියදී මීටර් 8,849ක් උසැති මෙම මහා පර්වත මුදුනට ළඟා වූ බව නේපාල සංචාරක දෙපාර්තමේන්තුව තහවුරු කළේය.
1994 වසරේදී සිය ප්‍රථම එවරස්ට් ගමන ආරම්භ කළ කාමි රීටා, එතැන් සිට විවිධ හේතූන් මත සංචාරයන් අත්හිටුවූ වසර කිහිපයක් හැර සෑම වසරකම පාහේ මෙම අසීරු ඉලක්කය ජයගෙන ඇත. මෙවර ඔහු පෙරවරු 10:12ට කඳු මුදුනට ළඟා වී ඇති අතර, මීට අමතරව 52 හැවිරිදි ලක්පා (Lakhpa) නමැති ෂර්පා කාන්තාව ද 11 වැනි වරටත් එවරස්ට් ජයග්‍රහණය කරමින් කාන්තාවක විසින් වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කිරීමේ වාර්තාව තැබීමට සමත්ව තිබේ.
කඳු නැගීමේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කාමි රීටා ලබාදෙන දායකත්වය නේපාල රජයේ ඇගයීමට ලක්ව ඇති අතර, විදේශීය කඳු නගින්නන්ට මඟපෙන්වීම එම ප්‍රදේශයේ වෙසෙන ෂර්පා ප්‍රජාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය ද වේ. මෙවර කඳු නැගීමේ වාරය සඳහා නේපාල බලධාරීන් අවසර පත්‍ර 492ක් නිකුත් කර ඇති අතර, මෙම මාසය තුළදී පමණක් නේපාල කඳු නගින්නන් තිදෙනෙකු කන්ද තරණය කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.














