කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉටුරි (Ituri) ප්‍රාන්තයේ පැතිර යන එබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් (PHEIC) ප්‍රකාශයට පත් කර තිබේ. දැනට වාර්තා වී ඇති දත්තවලට අනුව මෙම රෝගය වැළඳුණු බවට සැකකෙරෙන රෝගීන් 246ක් හඳුනාගෙන ඇති අතර පුද්ගල මරණ 80ක් වාර්තා වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් මහතා පෙන්වා දෙන්නේ මෙවර ව්‍යාප්ත වන්නේ ‘බන්ඩිබුගියෝ’ (Bundibugyo) නමැති එබෝලා වෛරස් ප්‍රභේදය බවයි. මෙම ප්‍රභේදය සඳහා මේ දක්වා අනුමත කරන ලද එන්නතක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් නොමැති වීම තත්ත්වය වඩාත් බරපතළ වීමට හේතු වී තිබේ. දැනටමත් අසල්වැසි උගන්ඩාවෙන් ද එක් මරණයක් වාර්තා වී ඇති බැවින්, දේශසීමා ආසන්න රටවලට මෙම රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිරීක්ෂණ කටයුතු දැඩි කරන ලෙසත්, රෝගීන් වෙන් කර තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද ශක්තිමත් කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අදාළ රටවලින් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත ජාත්‍යන්තර ගමන් බිමන් හෝ වෙළඳාම සඳහා සීමාවන් පැනවීමට මෙතෙක් නිර්දේශ කර නොමැති බවද වාර්තා වේ.
















