පසුගියදා වනවාසල ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති දේපළ හානි පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම අනතුරෙන් සිදුවූ සමස්ත හානිය තවමත් ගණනය කරමින් පවතින නමුත් මූලික ඇස්තමේන්තුවලට අනුව දුම්රිය සංඥා පද්ධතියට පමණක් රුපියල් මිලියන දෙකකට අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ ස්ථාපනය කර තිබූ සංඥා කුළුණු සහ ඒ ආශ්‍රිත තාක්ෂණික මෙවලම්වලට බරපතළ හානි සිදුවීම මෙම අලාභයට ප්‍රධාන හේතුව වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංඥා දෙපාර්තමේන්තුවේ සේවකයන් පැය විසිහතර පුරා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් සිටින බවත් හානියට පත් පද්ධති යළි සැකසීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් බලධාරීහු පෙන්වා දෙති.














