සියඹලාගහගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක රහසිගතව නිදන් හෑරූ බව කියන පුද්ගලයන් හත්දෙනෙකු උපකරණ සහ පූජා භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගැනීමට ගාලදිවුල්වැව පොලිසිය සමත්ව තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් පිරිස අතර තඹුත්තේගම ප්‍රදේශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් රත්නපුර, රාජාංගණය, බුලත්සිංහල සහ සියඹලාගහගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25ත් 56ත් අතර පසුවන්නන් බව හඳුනාගෙන ඇත. නිදන් හෑරීම සඳහා ඔවුන් යොදාගත් පූජා ද්‍රව්‍ය සහ කැණීම් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාලදිවුල්වැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














