ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Commonwealth Health Coordination Forum) පසුගිය 16 වනදා සාර්ථකව පවත්වන ලදී. “පොදු රාජ්‍ය මණ්ඩලය පුරා පිළිකා මර්දනයේ අනාගතය හැඩගැස්වීම” (Shaping the Future of cancer across the commonwealth) යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර, Lancet Oncology වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් පිළිකා මර්දනය සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම මෙහි මූලික අරමුණ විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම සමුළුව ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන ලෙස්ලි රම්සැමි (H.E. Leslie Ramsammy) මහතා විසින් මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙයට එක්විය. අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේදී පැවැත්වෙන මෙම 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි මස 23 වනදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිත අතර එහිදී ගෝලීය සෞඛ්‍ය ගැටලු රැසක් පිළිබඳව තීරණාත්මක සාකච්ඡා සිදු කිරීමට නියමිතය.














