පාසල් පද්ධතිය තුළ සිදුකෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වර්තමානයේ නිර්මාණය වී ඇති පාසල් සංස්කෘතිය ද අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. නාච්චාදූව ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමට පසුගියදා එක්වෙමින් අදහස් දැක්වූ ඇමැතිවරයා, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙන්ම රටේ පවතින තවත් ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණ මෙලෙස පැහැදිලි කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ පාසල තුළ නිසි පරිදි විෂය නිර්දේශය ආවරණය කරන්නේ නම් දරුවන්ට උපකාරක පන්ති කරා යාමට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වසර 5ක සේවා කාලයකින් පසු ස්ථාන මාරුවීම් ලබාදීමේ ස්ථාවර ප්‍රතිපත්තියක රජය සිටින බව ද ඔහු පැවසීය. වර්තමානයේ සමස්ත පළාත් 9ම සලකා බැලීමේදී උතුරු මැද පළාත අධ්‍යාපනයෙන් 9 වැනි ස්ථානයට පත්වීම බරපතළ කතාබහකට ලක්විය යුතු බවත්, පාසල් ගුරුවරයාට ද දරුවන් සමත් කරවීමේ අභියෝගය පැවතිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
විෂ මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම මුළුමනින්ම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වූ විශේෂ මෙහෙයුම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම වනඅලි ගැටලුවට තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් වනඅලි ගම්වැදීම වැළැක්වීම සඳහා වනාන්තර තුළම අලින්ට අවශ්‍ය ආහාර භෝග වගාකිරීමේ සුපෝෂණ වැඩපිළිවෙළක් සහ උන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග විවෘත කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පැවසීය. පවතින විදුලි වැටවල් විධිමත් ලෙස නඩත්තු කිරීම ඇතුළු මෙම සමස්ත ක්‍රියාවලිය වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 780ක (රුපියල් කෝටි 78ක) මුදලක් වෙන්කර ඇති බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් හෙළිදරව් කළේය.
















