හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු රට ගොඩනැඟීම සඳහා හොඳම දැක්මක් තිබූ නායකයා බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුව පරාජය කිරීමෙන් ඔහුට කිසිදු අවාසියක් සිදු නොවුණ ද ඉන් සමස්ත රටටම විශාල පාඩුවක් සිදු වූ බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සියත රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ආර්ථික අර්බුදය පැවති දරුණුතම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් ඇතැම් දැඩි තීන්දු තීරණ නිසා තමන්ගේ නිවස ද නැවත ගිනි තබනු ඇතැයි යන භීතියෙන් තමන්ට රාත්‍රියට නින්ද නොගිය බව හිටපු අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. විශේෂයෙන්ම, දිනකට පැය 12ක් පමණ පැවති විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නවතා, පැය 24 පුරාම විදුලිය ලබාදෙමින් විදුලි බිල ඉහළ දැමීමට එවකට ජනාධිපතිවරයා ගත් තීරණයට තමන් එකල විරුද්ධ වූ බව ද ඔහු කීය. එහෙත්, රටේ සංචාරක කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට සහ ආයෝජන ආකර්ෂණය කරගැනීමට අඛණ්ඩ විදුලි සැපයුම අත්‍යවශ්‍ය බව පවසමින් රනිල් වික්‍රමසිංහ මහතා එම තීරණය ක්‍රියාත්මක කළ ආකාරය මහින්ද අමරවීර මහතා සිහිපත් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට ඩොලරයේ අගය රුපියල් 292 දක්වා ස්ථාවර මට්ටමකට ගෙන ආ බවත්, එම පාලන කාලය තුළ අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 300ක අතිරික්ත මුදලක් භාණ්ඩාගාරයේ ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එම මුදල් යොදවා ජනතාවට සහන සලසා බඩු මිල අඩු කරන ලෙස ඇමති මණ්ඩලය යෝජනා කළ ද, රනිල් වික්‍රමසිංහ මහතා ඊට එකඟ නොවූ බව ඔහු හෙළි කළේය. මැතිවරණ වාසි තකා කටයුතු කරනු වෙනුවට, එම මුදල් යොදවා රුපියල තවදුරටත් ශක්තිමත් කිරීමටත් බැංකු පොළී අනුපාත පහත දැමීමටත් හිටපු ජනාධිපතිවරයා සැලසුම් කළ බව ද අමරවීර මහතා සඳහන් කළේය. ඔහු නැවත ජනාධිපති ධුරයට පත්වූයේ නම් මේ වන විට ඩොලරයේ අගය රුපියල් 250 දක්වා පහත දමා රට තුළ විශාල සංවර්ධනයක් සිදුකරනු ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















