රුපියල් දස කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 108ක්) වටිනා කොකේන් (Cocaine) මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂ්ම ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකි (Geologist). ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් ලබාගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඉකුත් 15 වැනිදා පෙරවරු 10.40ට කටුනායක වෙත පැමිණ ඇත. ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ කිසිදු බාධාවකින් තොරව මත්ද්‍රව්‍ය තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු පරීක්ෂාවට ලක්ව තිබේ.
සැකකරු සතු ගමන් මල්ලේ තිබූ සහතික පත්‍ර බහාලන ෆයිල් කවර දෙකක් (2) තුළ ඉතා සූක්ෂ්ම ලෙස අලවා සඟවා තිබූ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක බරින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය එහිදී රේගු නිලධාරීන් විසින් සොයාගන්නා ලදී. ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ ඉන්දීය ජාතිකයා සහ සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (PNB) නිලධාරීන් වෙත භාරදීමට රේගු බලධාරීන් පියවර ගෙන ඇත.















