විට්ස් (Vitz) වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12කට ලබාදෙන බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය, අද වන විට වාහන මත 50%ක අතිරේක බද්දක් පනවා ජනතාවගේ වාහන සිහිනය මුළුමනින්ම බොඳ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පෙරේදා (16) තිස්සමහාරාම, වීරවිල ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මහා සංඝරත්නය බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙම බදු පැනවීම හේතුවෙන් වාහන මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා පවසන කතා විහිළු සහගත බවත්, එවැනි ප්‍රකාශ නොකර ජනතාවගේ පැත්තෙන් සිටිමින් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කිරීමට රජය වගබලා ගත යුතු බවත් ඔහු පැවසීය. මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ 159 දෙනකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම සතු බව ද ඔහු සිහිපත් කළේය.
එමෙන්ම මේ වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් පවතින බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මීට වසරකට පෙර මැදපෙරදිග කලාපයේ (ඊශ්‍රායල, ඇමරිකා හා ඉරාන) හටගත් යුද ගැටුම් හමුවේ මතුවන ආර්ථික අභියෝගයන්ට වත්මන් රජය නිසි ලෙස සූදානම් නොවීම මීට හේතුව බවට චෝදනා කළේය. රුපියල බිඳවැටීම වළක්වා ගැනීමට නම් අපනයන ආදායම, සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ සහ සෘජු විදේශ ආයෝජන කඩිනමින් වර්ධනය කරගත යුතු බවත්, එසේ නොමැතිව බඩුමිල සහ උද්ධමනය පාලනය කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ ජනතාව මුහුණ දෙන ජීවන අර්බුදයෙන් ඔවුන් මුදාගැනීම සඳහා රජය විසින් ලබාදෙන සහනාධාර කප්පාදු නොකර තවදුරටත් පුළුල් කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
















