වත්මන් වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සිදුවන්නේ මෙරට රාජ්‍ය පාලනයේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසියම් අදූරදර්ශී ක්‍රියාවක් නිසා නොවන බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. වත්මන් දේශීය ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය උච්චාවචනය වීම් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මෙම මූල්‍ය අර්බුදකාරී ස්වභාවය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව සමස්ත ලෝක වෙළෙඳපොළ තුළ වර්තමානයේ පවතින අස්ථාවර සහ අවිනිශ්චිත දේශපාලන තත්ත්වයන් බවයි.
විශේෂ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දන සූරියආරච්චි මහතා, රුපියල මෙලෙස අඛණ්ඩව පහත වැටීම කෙරෙහි දේශීය වශයෙන් ගන්නා ලද දේශපාලන හෝ පාලන තීරණවලට වඩා ලෝක දේශපාලනයෙන් එල්ල වන බාහිර කම්පනයන් (External Shocks) සෘජුවම බලපා ඇති බව ප්‍රකාශ කළේය. එම ගෝලීය බලපෑම වර්තමාන මෙරට ආර්ථික ක්‍රියාවලියට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙන බැවින්, පටු දේශපාලන වාසි තකා මෙවැනි ජාත්‍යන්තර ආර්ථික ප්‍රවණතාවන් රජයේ වරදක් ලෙස අර්ථකථනය නොකළ යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














