ලෝක දේශපාලනික වටපිටාව තුළ පවතින අවිශ්වාසදායක සහ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, තම රටේ ආරක්ෂක ශක්තිය සහ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දුනීසියානු ජනාධිපති ප්රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) මහතා ප්රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ප්රංශයේ නිෂ්පාදිත නවීන “රාෆාල්” (Rafale) ප්රහාරක ජෙට් යානා 6ක් ඇතුළු තීරණාත්මක යුදෝපකරණ තොගයක් ඉන්දුනීසියානු ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදීම සඳහා ජකර්තා නුවර හලිම් පර්දනාකුසුමා (Halim Perdanakusuma) ගුවන් හමුදා කඳවුරේදී අද (18) පැවැති සුවිශේෂී උත්සවයකදීය.
ඉන්දුනීසියාව විසින් පසුගිය 2022 වසරේදී ප්රංශයේ ඩැසෝ ඒවියේෂන් (Dassault Aviation) සමාගම සමඟ අත්සන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමකට අනුව ඇණවුම් කරන ලද සමස්ත රාෆාල් ජෙට් යානා 42න් පළමු යානා 3 මෙරටට මෙම වසරේ ජනවාරි මාසයේදී ලැබුණු අතර, ඉතිරි යානා 3 අද දින නිල වශයෙන් ගුවන් හමුදා බලඇණියට එක් කරනු ලැබීය. “මෙය අපගේ ආරක්ෂක ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. බාහිර බලපෑම් වළක්වන ප්රධාන සාධකයක් ලෙස අපගේ ආරක්ෂක ශක්තිය වැඩිදියුණු කළ යුතුයි. අපගේ එකම අරමුණ මව්බිමේ භූමිය සුරක්ෂිත කරගැනීම පමණයි,” යනුවෙන් හිටපු විශේෂ බලකා අණදෙන නිලධාරියෙකු ද වන ජනාධිපති ප්රබෝවෝ මෙහිදී ප්රකාශ කළේය. නව යානා පිළිගැනීමේ සාම්ප්රදායික ඉන්දුනීසියානු චාරිත්රයකට අනුව ජෙට් යානයක ඉදිරිපස කොටස වෙත මල් පැන් ඉස ආශිර්වාද කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.














