ඕනෑම ප්‍රශ්නයකට සහ අතිසංකීර්ණ ගැටලුවලට සැනෙකින් පිළිතුරු ලබා දීමට සමත් AI (Artificial Intelligence) හෙවත් කෘතිම බුද්ධි මෙවලම් අධික ලෙස භාවිත කිරීම හේතුවෙන්, දිගුකාලීනව මිනිසාගේ ස්වාභාවික බුද්ධි මට්ටම සහ සිතීමේ හැකියාව පිරිහීමේ බරපතළ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ රෝයල් ඔබ්සර්වේටරි (Royal Observatory) ආයතනය අනතුරු අඟවයි. එම ආයතනයේ ප්‍රධානී පැඩී රොජර්ස් (Paddy Rodgers) මහතා පෙන්වා දෙන්නේ, මිනිසුන් ඕනෑම දේකට සීමාවකින් තොරව AI තාක්ෂණය මතම පමණක් යැපීමට හුරුවුවහොත්, ස්වාධීනව ප්‍රශ්න නැඟීමට සහ කරුණු ගැඹුරින් විමසා බැලීමට ඇති සහජ හැකියාව මිනිස් සමාජයෙන් ගිලිහී යා හැකි බවයි.
පරිගණක හෝ නවීන තාක්ෂණය නොමැති අතීත යුගවල විසූ තාරකා විද්‍යාඥයන්, තමන්ට එදිනෙදා අනවශ්‍ය යැයි සිතුණු ඉතා සුළු කරුණු පවා දැඩි කැපවීමෙන් නිරීක්ෂණය කර සටහන් තැබූ බවත්, එම දත්ත වසර 150කට පමණ පසුව වත්මන් විද්‍යාඥයන්ගේ පර්යේෂණ සඳහා ද අතිශය ප්‍රයෝජනවත් වී ඇති බවත් ඔහු සිහිපත් කරයි. නමුත් වත්මන් AI මෙවලම් මඟින් සිදුවන්නේ පරිශීලකයාට අවශ්‍ය කෙටි සෘජු පිළිතුරු පමණක් සැපයීම නිසා, මිනිසුන්ට පර්යේෂණාත්මකව අලුත් දේ සෙවීමට ඇති සහජ කුතුහලය ක්‍රමයෙන් විනාශ වී යයි. මීට අමතරව, කෘතිම බුද්ධිය මඟින් ලබාදෙන ඇතැම් පිළිතුරු සහ තොරතුරු සැබවින්ම නිවැරදිදැයි ස්වාධීනව නැවත පරීක්ෂා කිරීම (Fact-check) ද සාමාන්‍ය පරිශීලකයන්ට අසීරු වී තිබේ.
AI තාක්ෂණයේ පවතින වාසිදායක පැතිකඩ
කෙසේ වෙතත්, කෘතිම බුද්ධිය ඵලදායී ලෙස භාවිත කිරීම තුළින් විද්‍යාත්මක ලෝකයේ සුවිශේෂී සොයාගැනීම් රැසක් ද මේ වන විට සිදුකර ඇත. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ, 2024 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ සුප්‍රකට විද්‍යාඥ ඩෙමිස් හසාබිස් (Demis Hassabis) මහතා “AlphaFold2” නමැති ප්‍රබල AI මෙවලම සාර්ථකව භාවිත කරමින් මිනිස් සිරුරේ ප්‍රෝටීනවල සංකීර්ණ ව්‍යුහය (Protein Structures) නිවැරදිව සොයාගැනීමයි. ඒ වෙනුවෙන් ඔහුට රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ද හිමිවිය.














