ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ උද්ධමන අවදානම ඉහළ යාම මත, ගෝලීය බැඳුම්කර වෙළෙඳපොළ තුළ (Bond Market) හදිසියේ මතුවූ දැඩි උච්චාවචනය සහ රාජ්‍ය ණය බර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා G7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් අද (18) ප්‍රංශයේ පැරිස් නුවරදී හදිසියේ රැස්විය. ඇමෙරිකානු ජනාධිපති සහ චීන ජනාධිපතිවරයා අතර පැවැති ආර්ථික සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක් නොලැබුණු පසුබිමක මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සංවිධානය කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ බලශක්ති සහ තෙල් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් උද්ධමනය පාලනය කිරීමට ලොව ප්‍රධාන මහ බැංකු විසින් පොලී අනුපාත (Interest Rates) තවදුරටත් ඉහළ දමනු ඇතැයි ආයෝජකයන් සැක පළ කරයි. මේ හේතුවෙන් ටෝකියෝවේ සිට නිව්යෝර්ක් දක්වා ප්‍රධාන මූල්‍ය වෙළෙඳපොළවල බැඳුම්කර මිල ගණන් අද දිනයේදීත් දිගින් දිගටම පහත වැටෙමින් (Selloff) දැඩි අස්ථාවරත්වයකට ලක් විය. විශේෂයෙන්ම ජපානය වැනි ප්‍රධාන ආර්ථිකයන් කෙරෙහි මෙම බැඳුම්කර වෙළෙඳපොළ උච්චාවචනය සෘජුවම බලපා ඇති බව වාර්තා වේ.
ගෝලීය බැඳුම්කර වෙළෙඳපොළ බිඳ වැටෙමින් පවතින්නේ දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රංශ මුදල් අමාත්‍ය රෝලන්ඩ් ලෙස්කියුර් (Roland Lescure) මහතා කියා සිටියේ, “වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා කියලා මම කියන්නේ නැහැ, නමුත් මේ වෙලාවේ එහි යම් විශාල සංශෝධනයක් (Correction) සිදුවෙමින් පවතිනවා” යනුවෙනි. එසේම වර්තමාන ගෝලීය මූල්‍ය වටපිටාව තුළ රාජ්‍ය ණය (Public Debt) යන්න තවදුරටත් නොසලකා හැරිය නොහැකි, අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු බරපතළ මාතෘකාවක් වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය














