රටේ සන්නද්ධ හමුදාවන් සිදුකළ උත්තරීතර පරිත්‍යාගය හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාව තනි, නොබෙදුණු රටක් ලෙස පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. යුද ජයග්‍රහණයේ සංවත්සරය නිමිත්තෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය නිමා කළ දිනය කිසිවිටෙකත් අමතක නොකළ යුතු බවත්, ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ට මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතු බවත්ය. රටක් ලෙස අත්කරගත් එම ජයග්‍රහණය නිසාම අද වන විට සියලු ජනතාවට බියකින් තොරව ජීවත් වීමේ පරිසරය නිර්මාණය වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
වත්මන් දේශපාලන වාතාවරණය සහ යුද ජයග්‍රහණයේ ස්ථාවරත්වය පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ විවිධ දේශපාලන වෙනස්කම් සිදු වුවද, එම ජයග්‍රහණය හරහා තහවුරු වූ ජාතික සාමය අඛණ්ඩව ආරක්ෂා වී ඇති බවයි. දේශපාලන මතවාද කුමක් වුවත්, ශ්‍රී ලාංකික මහජනතාව සහෝදරත්වයෙන් සහ සාමකාමීව ජීවත් වීම මෙම ජයග්‍රහණයේ වැදගත්ම ප්‍රතිඵලය බවත්, එය ඉදිරියටත් රැකගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














