එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ලොව සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය හා ප්‍රාදේශීය අධ්‍යයන අංශය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව එහි විද්වතුන් සහ සිසුන් සමඟ ප්‍රශ්නෝත්තර වාරයකට ද එක්වනු ඇත. 22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරය අතරතුර එක්සත් රාජධානියේ අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් සහ විදේශ ලේකම් ඉවෙට් කූපර් යන මහත්මීන් හමුවී දෙරට අතර අධ්‍යාපනික හා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ. මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ෂර්ලි අයෝර්කර් බොච්වේ මහත්මිය සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වන ඇය සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වැනි සංවත්සර උත්සවයට ද සහභාගී වෙමින් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කරනු ඇත.














