අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විශේෂ කරුණු කිහිපයක් අනාවරණය විය. කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේ මෙන්ම මරණය සිදුවූ නිවසේ ද සීසීටීවී (CCTV) පද්ධතිවල දර්ශන පටිගත වී නොමැති බවයි. මැයි මස 05 වනදා සහ 07 වනදා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බව අවට දර්ශන පරීක්ෂාවේදී තහවුරු වුවද නිවසේ අභ්‍යන්තර පද්ධති ක්‍රියා විරහිතව තිබීම විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ සීසීටීවී පද්ධති සවිකළ සමාගමේ ඉංජිනේරුවරයා සාක්ෂියට කැඳවීමටත් එම පද්ධතිවල ඩීවීආර් (DVR) යන්ත්‍ර රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටත් නියෝග කළේය. මීට අමතරව මරණය සිදුවූ ස්ථානයේ තිබී හඳුනා නොගත් ඖෂධ පෙති වර්ග දෙකක් සොයාගෙන ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියමිතය. විමර්ශන කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් මෙහිදී පොලිසියට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා මරණකරුට ඇප තැබූ පුද්ගලයන්ගෙන් කඩිනමින් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද නියෝග කළේය.














