දිවයින හරහා නිරිත දිග මෝසම් කාලගුණය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 5,327 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම ආපදා හේතුවෙන් යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අකුණු සැර වැදීමෙන් සහ මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දියේ ගසාගෙන යාමෙන් මියගොස් තිබේ. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 219කට අර්ධ හානි සිදුව ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ද වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ද ඉදිරියේදී වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට සහ උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වලට විටින් විට තද සුළං ඇතිවිය හැකි බවට ද අනාවැකි පළ කෙරේ. එසේම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














