විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල සඳහා හඳුන්වා දුන් නව පොදු වෙබ් අඩවි වේදිකාව සමඟින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ඊයේ (18) නිල වශයෙන් එළිදක්වන ලදී. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර සහ රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. නවීන අකුරු මුහුණතකින් සහ පහසුකම්වලින් සමන්විත මෙම වෙබ් අඩවි පද්ධතිය හරහා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් නියෝජනය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්ෂණය හඳුන්වාදීම පමණක් නොව, ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ වගවීමෙන් යුතු සේවාවක් සැපයීම බවයි. මෙම නව වෙබ් අඩවි වේදිකාව මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය පාර්ශ්වකරුවන්ට ද අවශ්‍ය තොරතුරු සහ සේවාවන් වඩාත් කඩිනමින් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙය ශ්‍රී ලංකාව සහ ලෝකය අතර පවතින ඩිජිටල් සබඳතාවන් නව මානයකට ඔසවා තැබීමට හේතුවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














